ඛුද‍්දකපාඨපාළි යන්නෙහි වචනාර්ථය ‘කෙටි පාඨ (ප්‍රකාශ) පෙළ’ යන්නයි. ශ්‍රාවකයාගේ සරණගමන පටන්ගැන්මේ සිට පරිපුර්ණත්වය දක්වා සිදුවන ආකාරය හඳුන්වාදීම පිණිස පෙළගස්වන ලද යම් කෙටි පාඨ නවයක් වේද, ඒ ඛුද‍්දකපාඨපාළිය යි. එහි, සරණගමනං දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං නිධිකණ‍්ඩසුත‍්තං සහ මෙත‍්තසුත‍්තං යන කෙටි පාඨ නවය ඇතුළත්ය.
එහි පළමු පාඨය වූ ‘සරණගමන’ යනු බුද්ධ ධම්ම සඞ්ඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට සොයා ගමන් කිරීමයි . යමෙක් මේ පාඨ නවය තමාගේ සරණගමන යැයි පිළිගෙන ඒ පාඨයන්ගේ අර්ථයන් දැනගනු ලබන්නේ ද, ඔහු ඒකාන්තයෙන්ම සරණගමන ආරම්භ කළා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පත් වෙයි. ඒ ශ්‍රාවකයා යම් කලෙක මේ සියලු පාඨයන් මෙත්තසූත්‍රය දක්වා ඒ පිළිවෙලින් අවබෝධකොට ගනු ලැබුවේ වේද, ඔහු ඒකාන්තයෙන්තයෙන්ම අනාගාමී ශ්‍රාවකයෙක් බවට පත්වෙයි. එසේ ඒ සරණගමන ආරම්භ කිරීමේ සිට මේ අනාගාමී ඵලය අතරතුර ඔහු සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකෘදාගාමී යන සරණගමනේ ප්‍රධාන සන්ධිස්ථාන පසු කරනු ලබයි. මෙසේ, ඔහු මේ මිනිස් ජීවිතයේදීම මේ පාරිශුද්ධ සද්ධර්මයෙන් ලැබිය යුතු පිහිට ලැබ තම සුභසිද්ධිය උදාකොටගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පත් වෙයි. ඒ අර්ථයෙන්, මේ ධර්මය ඛුද‍්දකපාඨපාළිය යැයි පැවසේ. පහත දැක්වෙන්නේ එය කෙසේ සිදුවන්නේ ද යන්න පෙන්වාදීම සඳහා වන විවරණය කි.
සේඛභූමිය සහ අසේඛභූමිය යැයි භූමි දෙකක් වේ. ඒ සේඛභූමිය කවරේද යත්: භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හෝ කියවා, ඒ ධර්මය ගැන පැහැදීමක් නිසා ඇතිවුනා වූ යම් ශ්‍රද්ධාවකින් ‘බුද‍්ධං සරණං ගච‍්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ‍්ඝං සරණං ගච්ඡාමි’ යැයි හදවතින්ම ප්‍රකාශ කිරීමෙන් ශ්‍රාවකයකු සේඛභූමියට ඇතුල් වන්නේ වෙයි1.0.1. එතැන් පටන්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධකොට ගැනීමේ නිරතවී සිටින ඒ ශ්‍රාවකයා, යම් දිනක සතර සොතාපන්‌න අංගයන් වූ (සොතාපන්‌නස්‌ස අඞ්‌ගානි1.0.5): (1) බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුතුව ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති යැයි හදවතින්ම ප්‍රකාශ කරන්නේ ද, (2) ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුතුව ‘ස‍්වාක‍්ඛාතො භගවතා ධම්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී’ති යැයි හදවතින්ම ප්‍රකාශ කරන්නේ ද, (3) සඞ්ඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුතුව ‘සුපටිපන‍්නො භගවතො සාවකසංඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා’ති යැයි හදවතින්ම ප්‍රකාශ කරන්නේ ද, (4) ආර්‍ය්‍යකාන්ත සීලයෙන් යුතු ද, ඔහු විසින් තමා සෝතාපත්තිඵලය සාක්ෂාත් කොට ගතිමි යැයි තමාම දැනගනු ලබයි. එකල්හි, ඔහු විසින් ‘දුතියම‍්පි බුද‍්ධං සරණං ගච‍්ඡාමි, දුතියම‍්පි ධම්මං සරණං ගච‍්ඡාමි, දුතියම‍්පි සඞ‍්ඝං සරණං ගච්ඡාමි’ යැයි දෙවන වරට ත්‍රිවිධ රත්නයේ සරණට යයි. එතැන් පටන්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධකොට ගැනීමේ නිරතවී සිටින ඒ ශ්‍රාවකයා, යම් දිනක ‘භාග්‍යවතුන් වහන්සේ බඳු මෙවන් සත්‍යය වූ ධර්මයක් සත්වයාට දෙසනා කරන්නේ නම් එබඳු අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ සාසනයෙන් පිටත නැත’යි යන අදහසකට පැමිණියේ ද, ඔහු විසින් තමා අනාගාමීඵලය සාක්ෂාත් කොට ගනු ලැබූවේ යැයි තමාම දැනගනු ලබයි. එකල්හි, ඔහු විසින් ‘තතියම‍්පි බුද‍්ධං සරණං ගච‍්ඡාමි, තතියම‍්පි ධම්මං සරණං ගච‍්ඡාමි, තතියම‍්පි සඞ‍්ඝං සරණං ගච්ඡාමි’ යැයි තෙවන වරට ත්‍රිවිධ රත්නයේ සරණට යයි. මෙසේ ඔහු තම සරණ ගමනේ අවසාන අරමුණ වූ අරහත්වය පිණිස මාර්ගයට ඇතුළත් වූ සේඛ ශ්‍රාවකයෙක් බවට පත්විය.
ඒ අසේඛභූමිය කවරේද යත්: සේඛභූමියට ඇතුළුවූ ශ්‍රාවකයා, යම් කලෙක, තමා තුළින් මේ හය ඉන්ද්‍රිය වූ චක‍්ඛු-ඉන්ද්‍රිය සොත-ඉන්ද්‍රිය ඝාන-ඉන්ද්‍රිය ජිව්‍හා-ඉන්ද්‍රිය කාය-ඉන්ද්‍රිය මන-ඉන්ද්‍රිය යන සියල්ල සියලු ආකාරයෙන් ශේෂයක් හෝ නොමැතිව නිරුද්ධ වීම දකී ද, වෙන යම් ඉන්ද්‍රියයන් හයක් කිසි තැනක කිසිදු ආකාරයකින් ඉපදීමක් සිදු නොවන්නේ යැයි මනාකොට දනී ද, එකල්හි, ඔහු තමා අරහත්වයට පත්වීමෙන් අසේඛභූමියට ඇතුළත් වූවෙකු යැයි තමාම දැනගනු ලබයි. ඒ, නිර්වාණය කෙළවර කොට ඇති ඔහුගේ සරණගමනේ අවසාන බලාපොරොත්තුවේ පරිපූර්ණත්වයයි.
යම් දිනක, එසේ ඒ අසේඛභූමියට ඇතුළත් වන්නේ සේඛභූමියට ඇතුළුව සිටි ගිහිගෙය අතහැර ගොස් සිටින පැවිදි ශ්‍රාවකයෙකි. එහෙයින්, ගිහි පැවිදි යන තථාගත ශ්‍රාවක දෙපිරිසේම පළමු අධිෂ්ඨානය සේඛභූමියට ඇතුළුවී එහි පරිපුර්ණත්වයට පත්වීමයි. ඒ අනුව යම් ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් සේඛභූමියට ඇතුළත්ව එහි පරිපුර්ණත්වයට පත්වන්නේ නම්, ඒ සඳහා ඔහු විසින් දැන අවබෝධකොට ගතයුතු නව ධර්මය ඛුද‍්දකපාඨපාළියේ ඇතුළත්ව ඇත. ඒ අර්ථයෙන් ද, ඛුද‍්දකපාඨපාළිය ඛුද‍්දකනිකායේ පළමු ධර්මය විය. එහෙයින්, කෙටි පාඨයන් වූ මේ ධර්මයන් නවය ශ්‍රාවකයන් විසින් වරදවා නොගත යුතුය, සුළුකොට නො සැලකිය යුතුය, පරිභවයට පත් නොකළ යුතුය. යම් හේතුවකින් යමෙක් ඛුද‍්දකපාඨපාළිය වරදවා ගනු ලැබුවේ ද සුළුකොට සැලකුවේ ද පරිභවයට පත් කරනු ලැබුවේ ද, ඒ හේතුවෙන් ඔහුට සේඛභූමිය අහිමි වන්නේ වෙයි. මෙවන් අතිශය වැදගත් කමකින් යුත් ඛුද‍්දකපාඨපාළිය අවබෝධකොට තම සුභසිද්ධිය උදාකොට ගැනීමට බලාපොරොත්තුවන යම් ශ්‍රාවකයෙකු වේද, ඔහු විසින් මේ ඛුද‍්දකපාඨ පෙළෙහි අර්ථයන් කවරේද? යන්න පළමුව සොයා ගතයුතුය.
අර්ථයන් පහසුවෙන් දැකගත නොහැකි සංක්ෂිප්ත ප්‍රකාශ වූ (සංකාසනා පකාසනා) සරණගමනං දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං නිධිකණ‍්ඩසුත‍්තං මෙත‍්තසුත‍්තං යන ඒ ඛුද‍්දකපාඨ නවය, ඛුද‍්දකනිකායේ පළමු ධර්මය බවට පත්වීමට ප්‍රධාන කරුණු තුනක් හේතුවී ඇත. ඒ කවර තුනක් ද යත්:
- සේඛභූමියට ඇතුළත්වීම, කුමන හෝ තථාගත ශ්‍රාවකයෙකු ගේ පළමු අධිෂ්ඨානය විය යුතු අතර ඒ සඳහා ඔහු විසින් අවබෝධකොට ගතයුතු ධර්මතා නවය හඳුන්වා දීම,
- අපරිමාණ අක්ෂර, අපරිමාණ පද, අපරිමාණ බ්‍යඤ‍්ජන, අපරිමාණ ආකාර, නිරුත්ති සහ නිද්දේස වලින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසනාකොට වදාළ ධර්මය න්‍යාය හඳුන්වාදීම, සහ
- තථාගත ධර්මයක, අර්ථය දැන එය අවබෝධකොට ගන්නේ නම්, ශ්‍රාවකයා විසින් ‘යොනිසොමනසිකාරය’ නම් වූ ධර්මය විමසා බැලීම (යෝනිසෝ සූත්‍රය – මග්ග සංයුත්ත, සූරියපෙය්‍යාලය) සිදු කළයුතු අතර ඒ ගුණය තමන් තුළ දියුණුකොට ගන්නා ආකාරය පිලිබඳ මූලික දැනුමක් ශ්‍රාවකයන්ට ලබාදීම, යන මේ ප්‍රධාන කරුණු තුන යි.
ශ්‍රාවකයෙකු විසින්සේඛභූමියට ඇතුළත්ව තථාගත ධර්මය අවබෝධකොට ගැනීම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ඔහු විසින් අවබෝධකොට ගතයුතු ධර්මතා නවය ඉහතදී පෙන්වා දෙනු ලැබිය. සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම සත්වයන් වූ බ්‍රහ්මකායික දෙවියන්ට පවා පැටලෙන, අර්ථජාලයක් වූ, ධර්මජාලයක් වූ, බ්‍රහ්මජාලයක් වූ (බ්‍රහ්මජාල සූත්‍රය) තථාගත ධර්මය, ඒ අර්ථජාලයේ ඒ ධර්මජාලයේ ඒ බ්‍රහ්මජාලයේ නොපැටලී ශ්‍රාවකයා විසින් අවබෝධකොට ගනු ලබන්නේ ද, ඒ සඳහා වන ධර්ම න්‍යායෙන් භාග්‍යවතුන් වන්සේ ධර්මය දෙසනාකොට වදාළහ. ඒ ධර්ම න්‍යාය, ‘ආදිකල්‍යාණ මජ‍්ඣෙකල්‍යාණ පරියොසානකල්‍යාණ’ යන වචන තුනෙන් ප්‍රකාශිතයි. මේ ධර්ම න්‍යාය නිසි ආකාරයෙන් තේරුම් නොගත්තෙකු විසින් මේ ගාම්භීර තථාගත ධර්මය අවබෝධකොට ගන්නේය යන්න සිදු නොවන කාරණයකි. එසේම, යම් ශ්‍රාවකයකු තථාගත ධර්මය අවබෝධකොට ගනු ලබන්නේ නම්, ඔහු ධර්මය විමසා බලන්නෙකු ද (යොනිසොමනසිකාරො) විය යුතුය. ධර්මය විමසීමේ ගුණය නොමැත්තෙකු ද මේ ගාම්භීර තථාගත ධර්මය අවබෝධකොට ගන්නේය යන්න ද සිදු නොවන කාරණයකි. ඒ අනුව, තථාගත ධර්මය අවබෝධකොට තමාගේ සුභසිද්ධිය සලසා ගැනීම අරමුණුකොට ගත් යම් ශ්‍රාවකයෙක් වේ ද, ඔහු විසින් මේ ඛුද‍්දකපාඨපෙළ, සංක්ෂිප්ත ප්‍රකාශ (සංකාසනා පකාසනා) නවයක් ඇතුළත් ආදිකල්‍යාන ධර්මයක් ලෙස සලකා එහි අර්ථය විමසා බැලිය යුතුය. එසේ සලකා විමසා බලන ඔහු විසින්, යම් දිනක, ‘මේ ඛුද‍්දකපාඨපෙළ නම් වූ යම් ධර්මයක් වේ ද, එය තථාගත ශ්‍රාවකයාගේ ඒ උතුම් අපේක්ෂාව නිෂ්ඵල නොවී යථාපරිදි සිදුවීම පිණිස අවශ්‍ය මුලික ධර්ම ඤාණය සැපයීම අරමුණු කොට ඛුද‍්දකනිකායේ පළමු ධර්මය වී ඇතිබව’ අවබෝධකොට ගනු ලබන්නේ වෙයි. එදින, ඔහු, භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේගේ සඞ්ඝයා විසින් තමා ඇතුළු මේ ලෝකසත්වයාගේ සුභසිද්ධිය වෙනුවන් කරන ලද උපකාර යථාපරිදි දැක, ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඉපැදී, ඒ ත්‍රිවිධ රත්නයේ සරණයට ඇතුළත් වෙයි. ඒ සිදුවීම, මේ දීර්ඝ සංසාර ගමනේ දී ඔහුට මෙතක් ඔහුගේ සුභසිද්ධිය පිණිස සිදුවූ ශ්‍රේෂ්ඨතම සිදුවීම වන අතර එහිදී ඔහු අඩුම තරමින් ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයෙක් බවට පත් වන්නේ වෙයි.
අපරිමාණ අර්ථ සහිත සංක්ෂිප්ත පාඨයක් වූ යම් ඛුද‍්දකපාඨයක අර්ථයක් සොයන යම් ශ්‍රාවකයෙක් වේ ද, ඔහු විසින් ඒ පාඨය, ඒ සමග ප්‍රකාශිත සෙසු පාඨයන් සමග සම්බන්ධ කොට, එහි අර්ථය විමසා බැලීය යුතුය. මේ, ශ්‍රාවකයෙකු සතුව පැවතිය යුතු ‘ධර්මය විමසා බැලීමේ හැකියාව දියුණුවීමේ ආරම්භය යි. උදාහරණයක් වශයෙන්: සරණගමනං යන ‘පාඨය’ පරතෙරක් පහසුවෙන් දැකිය නොහැකි අපරිමාණ අර්ථ සහිත සංක්ෂිප්ත ප්‍රකාශයකි. එහි අර්ථය කුමක් දැයි තමා විසින් සොයා ගතයුතු යැයි යන අදහසට පැමිණි යමෙක් වේද, ඔහු ධර්මය විමසන ගුණාංගයෙන් යුක්ත වූවෙකි. යම් අරුණෝදයෙක් වේ ද එය උදා වන හිරුට පෙර නිමිත්ත සේ, ධර්මය විමසීමේ ගුණය ධර්මාවබෝධයට පෙර නිමිත්තයි. ඒ අනුව එහි අර්ථය විමසා බලන යම් ශ්‍රාවකයෙක් වේ ද, ඔහු පළමුව ඒ පාඨය, දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං නිධිකණ‍්ඩසුත‍්තං සහ මෙත‍්තසුත‍්තං යන සෙසු පාඨයන් සමග සම්බන්ධ කොට එහි අර්ථය විමසා බලයි. එය යමෙකුට ස්වභාවයෙන්ම සිදුවන දෙයකි. එසේ විමසා බලන ඔහුට මෙවැනි අදහසක් ඇතිවේ ‘යම් ශ්‍රාවකයෙකු සරණයට ගමන් කරන්නේ ද, ඒ සඳහා ඔහුට දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං නිධිකණ‍්ඩසුත‍්තං සහ මෙත‍්තසුත‍්තං යන පාඨ අට ආධාරය පිණිස පවතී ‘. අන් කිසිදු ධර්මඤාණයක් නොමැති වුවත්, ඔහුට මේ අදහස ස්වභාවයෙන්ම ඇතිවන්නකි. මේ, ධර්මය විමසා බැලීමයි, ධර්මය විමසා බැලීමෙන් ලබන ධර්මාවබෝධයයි. මේ අවබෝධය සුළුකොට නො සැලකිය යුතුය. හේතුව, මේ අවබෝධය ඔහුව ඉදිරියට ගෙන යමින් තව බොහෝ අවබෝධයන් ඇතිකර දීමට උපකාර වීමයි. තවද, මෙත‍්තසුත‍්තං යන ‘පාඨය’ ද පරතෙරක් පහසුවෙන් දැකිය නොහැකි අපරිමාණ අර්ථ සහිත සංක්ෂිප්ත පාඨයකි. එහි අර්ථය විමසා බලන යම් ශ්‍රාවකයෙක් වේ ද, ඔහු පළමුව ඒ පාඨය, සරණගමනං දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං සහ නිධිකණ‍්ඩසුත‍්තං යන සෙසු පාඨයන් සමග සම්බන්ධ කොට එහි අර්ථය විමසා බලයි. එය යමෙකුට ස්වභාවයෙන්ම සිදුවන දෙයකි. එසේ විමසා බලන ඔහුට මෙවැනි අදහසක් ඇතිවේ: ‘සරණගමන ආරම්භකළ යම් ශ්‍රාවකයෙකුගේ ඒ ගමනේ අවසාන සන්ධිස්ථානය මෙත‍්තසුත‍්තං යන පදය යි. එසේ ඒ සරණගමනේ අවසාන සන්ධිස්ථානයට පැමිණීම පිණිස ඔහුට දසසික‍්ඛාපදං ද‍්වත‍්තිංසාකාරං කුමාරපඤ‍්හා මඞ‍්ගලසුත‍්තං රතනසුත‍්තං තිරොකුඩ‍්ඩසුත‍්තං සහ නිධිකණ‍්ඩසුත‍්තං යන සත් පද ආධාරය පිණිස පවතී’. අන් කිසිදු ධර්මඤාණයක් නොමැති වුවත්, ඔහුට මේ අදහස ස්වභාවයෙන්ම ඇතිවන්නකි. මේ, ධර්මය විමසා බැලීමයි, ධර්මය විමසා බැලීමෙන් මේ අවස්ථාවේ දී ලබන ධර්මාවබෝධය යි. මේ අවබෝධය සුළුකොට නො සැලකිය යුතුය. හේතුව, මේ අවබෝධය ඔහුව ඉදිරියට ගෙන යමින් තව බොහෝ අවබෝධයන් ඇතිකර දීමට උපකාර වීමයි. සෙසු ඛුද‍්දකපාඨ ද මේ අර්ථයෙන් ශ්‍රාවකයන් විසින් තේරුම් ගතයුතුය.
යම් ශ්‍රාවකයෙක්, මේ සංක්ෂිප්ත පාඨ නවය මෙසේ විමසා බලා එවන් ධර්මාවබෝධයකට පැමිණියේ ද, ඔහු තුළ ස්වභාවයෙන්ම මෙවන් අදහසක් ඇතිවේ. ඒ කවර අදහසක් ද යත්: ‘මා විසින් මේ එක් එක් සංක්ෂිප්ත පාඨයන්හි ඇතුළත් ධර්මයන් කවරේද? යන්න සොයාගනු ලැබූ බහුශ්‍රුත ශ්‍රාවකයෙකු බවට පත්වෙන්නේ නම්, එය නියත වශයෙන්ම මාගේ සරණගමන ආරම්භ කිරීමට ද ඒ සරණගමනේ ඉදිරියට ගමන් කිරීමට ද ඒ සරණගමනේ කෙලවරට පැමිණීමට ද බොහෝ උපකාර පිණිස පවතී. එහෙයින්, මම ඒ සඳහා අද සිටම කටයුතු කරන්නේ නම් එය මාගේ සුභසිද්ධිය පිණිස වන යහපත් ක්‍රියාවකි’. මෙය ද, ධර්මය විමසා බැලීමයි, ධර්මය විමසා බැලීමෙන් මේ අවස්ථාවේ දී ලබන ධර්මාවබෝධය යි. එවන් බහුශ්‍රුත බවක් ලැබීම පිණිස මම ද සූත්‍ර පිටකය පරිහරණය කරන්නෙකු බවට පත්විය යුතු අතර එහිදී ඇතිවන ගැටලු නිරාකරනකොට ගැනීම සඳහා මා විසින් සූත්‍ර පිටකය පරිහරණය කරන ධර්මය මනාකොට දන්නා කල්‍යාණ මිත්‍රයෙකුගේ උපකාරය ලබාගත යුතු යැයි යන අදහසට ද පැමිණේ. මෙය ද, ධර්මය විමසා බැලීමයි, ධර්මය විමසා බැලීමෙන් මේ අවස්ථාවේ දී ඔහු ලබන ධර්මාවබෝධය යි.
එවන් බහුශ්‍රුත බවක් ලැබීම සඳහා ඔහුට යම් කිසි කාලයක් ගතවේ. එවන් බහුශ්‍රුත බවක් දැනට නොමැති, එහෙත් මේ ඛුද‍්දකපාඨයන්හි ඇතුළත් ධර්මයන් කවරේද? යන්න දැනගැනීම පිණිස උනන්දුවක් දක්වන ශ්‍රාවකයන්ගේ ප්‍රයෝජනය පිණිස, සංක්ෂිප්ත ප්‍රකාශ (සංකාසනා පකාසනා) නවයක් වූ ඒ එක් එක් ඛුද‍්දකපාඨයන්, විවරණය කොට විභජනය කොට (විවරණා විභජනා) පෙන්වා දීම මේ විශ්ලේෂණයේ මුලික අරමුණයි. යම් කලෙක, ශ්‍රාවකයන් විසින් මේ විවරණය කොට විභජනය කළ ඛුද‍්දකපාඨ, තව දුරටත් විස්තරකොට ව්‍යවහාරයට පත්කිරීම (උත‍්තානීකම‍්මං පඤ‍්ඤත‍්ති) පිණිස වන ධර්මයන් ඇසුරෙන්, අවබෝධකොට ගනු ලබන්නේ ද, එවිට ඔවූහු, තමන් මේ සද්ධර්මයේ ප්‍රතිලාභයන් වූ සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී යන ඵලයන්ගේ ප්‍රතිලාභීන් බවට පත්ව ඇතැයි තමන් විසින්ම දැන ගැනීමකට පැමිණෙන්නා හ.
එවන් ප්‍රතිලාභයන්ගෙන් යුත් මේ සද්ධර්මයෙන් පිහිටක් ලබා මේ උතුම් මිනිස් භවයෙන් තමනට සුභසිද්ධියක් උදාකොට ගැනීමට බලාපොරොත්තු සහිත සහ ඒ සඳහා කළයුතු යමක් වේද එය කිරීමට නොපසුබට යම් සැදැහැවතුන් වෙත්නම්, ඔවුන්ගේ ඒ උදාර අභිප්‍රාය සඵල වේවා යන කරුණා සහගත සිතිවිල්ලෙන් මේ පහත දැක්වෙන ඛුද‍්දකපාඨයන්ගේ විවරණය ඇතුළත් ධර්මය සම්පාදනය කෙරිණ.