බුදුන් දහම් සඟුන් සරණයට ගමන් කිරීම
නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස
බුදුදහම ඇදහීමක් නොවේ, එය විශ්වයේ ඇති සියල්ල පැහැදිලි කරන දර්ශනයකි. එහි මූලික අරමුණ ප්‍රඤ්ඤාව තුළින් සත්වයා සතුටට පත්කොට අනතුරුව සුඛිත බවට පත්කිරීමයි. සත්වයා මිනිසෙකු වශයෙන් ඉපැද මේ ජිවිතයේ දී විඳින්නා වූ දුක ද, ජාතියෙන් ජරාවෙන් මරණයට පත්වෙමින් සතර අපායන්හි අනේක දුක් විඳිමින් විෂම චක්‍රයක් වූ සංසාරයේ ගමන් කරන ආකාරය ද බුදුදහම පෙන්වාදෙනු ලබයි. බුදුදහම, දෙව්මිනිසුනට දැනුම සහ ප්‍රඤ්ඤාව තුළින්, තමන් දැනට ලබා ඇති භවයේ දී සතුටින් සිටීම පිණිසත්, මත්තේ සුගතියේ ඉපැද සුඛ විඳීම පිණිසත්, අවසානයේ සියලු දුක්ඛය අවසන්කොට අරහත්වය ලැබීම පිණිසත් උපකාර කරනු ලබයි. එහෙත්, තිරිසන් සත්වයනට ද, අසුරලෝක පේත සහ නිර සත්වයනට ද බුදුදහම උපකාර නොවේ. දැනුම සහ ප්‍රඤ්ඤාව ඔවුනට ලැබිය නොහැකිවීම එයට හේතුවයි.
සමස්ත බුද්ධ දර්ශනයම පදනම් වී ඇත්තේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ අවස්ථාවේ දී අවබෝධ කොටගත් ‘පටිච්චසමුප්පාදය’ නම් වූ ආර්ය ධර්ම න්‍යාය මතයි. යම්කිසි ශ්‍රාවකයන් හට, තමන් රූප වේදනා සඤ‍්ඤා සඞ‍්ඛාර විඤ‍්ඤාණ යන ස්කන්ධයන්ගේ එකතුවක් ලෙස දැකිය හැකිවන්නේ නම්, ඔවූහු ප්‍රඤ්ඤාවන්තයෝ වෙති. තමන් ඇතුළු මේ සත්වයා, ඇලීම් සහගත මෙම ස්කන්ධ පහෙන් සමන්විත බව මේ ධර්මය දන්නා කිසිදු විචාරශීලී පුද්ගලයෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ලෙස යමෙකු දියුණුකොට ගන්නා දැනුම සහ ප්‍රඤ්ඤාව මෙයයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“යමෙක් ධර්මය දකී ද ඔහු පටිච්චසමුප්පාදය දකී. යමෙක් පටිච්චසමුප්පාදය දකී ද ඔහු ධර්මය දකී.”
පටිච්චසමුප්පාදය අවබෝධකොට ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් සැනසිල්ලට පත්වේ, සතුටට පත්වේ, සන්සුන් බවට පත්වේ, සාන්ත බවට පත්වේ, පරිපුර්ණ මිදීමට පත්වේ. ඔවුන් මෙය සාක්ෂාත් කොට ගනු ලබන්නේ සරණගමනට ඇතුළුවී එහි පරිපුර්ණත්වයට ගමන් කිරීමෙනි. එනම්, බුද්ධ ධම්ම සංඝ සරණයට ගමන් කිරීමෙනි.
මේ සරණගමන ගවේෂණය කොට මේ ජිවිතයේදීම ආර්ය මට්ටමකට පත්වීම පිණිස අභිලාශයක් සහිත යම් ශ්‍රාවකයන් වේද, මෙම වෙබ් අඩවිය ඔවුනට ඉතා වටිනා තියුණු අවබෝධතා ඤාණ රාශියක් සපයයි. සුළු හෝ වෙනස්කමකින් තොරව, සූත්‍ර පිටකයේ දක්වා ඇති ආකාරයටම, මෙම වෙබ් අඩවිය පියවරෙන් පියවර ශ්‍රාවකයා ඒ සරණගමනේ කැඳවාගෙන යයි.